ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) ආදායම් බෙදාහැරීමේ යෝජිත නව ආකෘතියට පාකිස්තාන ක්‍රිකට් ආයතනය ප්‍රසිද්ධියේම සිය විරෝධය පල කර තිබෙනවා.
ඉන්දියාවට වැඩි ආදායම් කොටසක් හිමි විය යුතු බවට තමා පිළිගන්නා නමුත්, මෙම නව ක්‍රමවේදය පිළිබද තවදුරටත් අයි.සී.සීය විසින් පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවයි පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානී නජාම් සෙතී Reuters පුවත් සේවය වෙත සදහන් කර ඇත්තේ.
නව ආකෘතියට අනුව අයි.සී.සී ශුද්ධ අතිරික්ත ආදායම්වලින් 38.5%කට ආසන්න ඉහළ කොටසක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හිමි වීමට නියමිතයි. එනම් අමෙරිකානු ඩොලර් මිලියන 230 ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 7,254 ක් පමණ) මුදලක් වාර්ෂිකව ඔවුන්ට හිමි වීමට නියමිතයි.
අයි.සී.සී වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 600 ක් ලෙස ගණනය කර තිබෙනවා. එනම්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 18,924 ක පමණ අගයක්.
යෝජිත ආදායම් බෙදාහැරීමේ නව ආකෘතියට අනුව වැඩිම ඉපැයීමක් ලබන දෙවැනි රට වන්නේ එංගලන්තයයි. ඔවුන් අමෙරිකානු ඩොලර් මිලියන 41.33 ක මුදලක් හෙවත් අයි.සී.සී ආදායමෙන් 6.89% කොටසක් හිමි කර ගනු ඇති. ඔස්ට්‍රේලියාවට මෙම ලැයිස්තුවේ හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි. ඔවුන් ඩොලර් මිලියන 37.53 ක (6.25%) මුදලකට හිමිකම් කීමට නියමිතයි. පාකිස්තාන ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන 34.51 ක (5.75%) මුදලක් ලැබීමට නියමිත අතර, සෙසු කිසිදු ටෙස්ට් රටකට ඩොලර් මිලියන 30 කට වැඩි මුදලක් වාර්ෂිකව හිමිවන්නේ නැහැ.
මේ වන විට සකස් කරමින් පවතින යෝජිත නව ආකෘතියට ජූනි මාසයේ දී අනුමැතිය හිමි වීමට නියමිතව ඇති බවත්, අනතුරුව ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත අයි.සී.සී වාර්ෂික මහා සභා රැස්වීමේ දී ඊට අවසන් අනුමැතිය හිමි වීමට නියමිතව ඇති බවත් සදහන්.
පාකිස්තාන ක්‍රිකට් ආයතනය හැරුණු විට වෙනත් කිසිදු රටක් මේ වන තුරු මෙම යෝජිත ක්‍රමවේදයට ප්‍රසිද්ධියේ සිය විරෝධය පල කිරීමට හෝ අදහස් දැක්වීමට කටයුතු කර නැහැ.
“ප්‍රතිපත්තිමය වශයෙන්, ඉන්දියාවට වැඩි ප්‍රමාණයක් ලැබිය යුතුයි, ඒ ගැන කිසිදු සැකයක් නැහැ” යනුවෙන් සෙති පවසා සිටියා. “නමුත් … මෙම ලේඛනය සකස් කරන්නේ කෙසේද?”
ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇති ආකාරයට නිර්ණායක 4 ක් සලකා බලා මෙම ආදායම් බෙදාහැරීමේ නව ආකෘතිය සකස් කර තිබෙනවා.
පූර්ණ සාමාජිකත්වය සදහා සමාන කොටසක්, අයි.සී.සී වාණිජ ආදායම සදහා ලබාදෙන දායකත්වය, ක්‍රිකට් ඉතිහාසය හා පසුගිය වසර 16 ක කාලය තුළ පිරිමි හා කාන්තා අයි.සී.සී තරගාවලියන්හී දී දක්වා ඇති දක්ෂතා යන නිර්නායක මෙහිදී සලකා බලා ඇති බව සදහන්.
යෝජිත ක්‍රමවේදයට අනුව අයි.සී.සී පූර්ණ සාමාජික රටවල් 12 අතරේ ආදායම බෙදී යන අයුරු-
- ඉන්දියාව – මිලියන 230 (38.5%)
- එංගලන්තය – මිලියන 41.33 (6.89%)
- ඔස්ට්‍රේලියාව – මිලියන 37.53 (6.25%)
- පාකිස්තානය – මිලියන 34.51 (5.75%)
- නවසීලන්තය – මිලියන 28.38 (4.73%)
- බටහිර ඉන්දීය කොදෙව් – මිලියන 27.50 (4.58%)
- ශ්‍රී ලංකාව – මිලියන 27.12 (4.52%)
- දකුණු අප්‍රිකාව – මිලියන 26.24 (4.37%)
- බංග්ලාදේශය – මිලියන 26.74 (4.46%)
- අයර්ලන්තය – මිලියන 18.04 (3.01%)
- සිම්බාබ්වේ – මිලියන 17.64 (2.94%)
- ඇෆ්ඝනිස්තානය – මිලියන 16.82 (2.80%)