“අන්තිම මාසෙ වගේ අපි සෑහෙන ලොකු පුහුණුවීමක් කරා” : දිමුත්

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා තමන්ට ලද සංචිතය පිළිබද තමා සතුටු වන බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසනවා.

නවසීලන්ත සංචාරය ආරම්භ කරමින් අද(27) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු ඒ බව සදහන් කළේ.

“ලැබිලා තියෙන කණ්ඩායම ගැන සතුටු වෙනවා. හොද කණ්ඩායමක් ඉන්නවා. අන්තිම කාලෙ එකට ක්‍රීඩා කරපු ටෙස්ට් කණ්ඩායම ඉන්නෙ.” යනුවෙන් දිමුත් කියා සිටියා.

“අත්දැකීම් බහුල වගේම නවක ක්‍රීඩකයින් එක්ක මම හිතන්නේ හොද සංයෝගයක් තියෙනවා කණ්ඩායමේ. බලාපොරොත්තුවක් තියෙනවා හොද තරගාවලියක් නිමා කරලා එන්න.”

“රදැල්ලෙ අපි හොද පුහුණු සැසියක් පැවැත්වුවා. නවසීලන්තයට ගිහිං අපිට තව දින 8ක 9ක පමණ කාලයක් තියෙනවා පළමු තරගයට පෙර. ඊට පෙර අපි දෙදින පුහුණු තරගයකුත් ක්‍රීඩා කරනවා. අපිට එහෙට ගිහිල්ලත් කාලසීමාවක් තියෙනවා පුහුණුවීම් කරලා ඒ දේශගුණික තත්ත්වයන්ට හුරු වෙලා, එහෙ තණතීරුවලට හුරු වෙන්නත් එක්ක. අන්තිම මාසෙ වගේ අපි සෑහෙන ලොකු පුහුණුවීමක් කරා. ඉතිං මම හිතනවා ක්‍රීඩකයින් හැමෝම හොද සූදානමකින් ඉන්නවා කියලා.”

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග දෙකක්, අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් මෙම තරග සංචාරයට ඇතුළත්.

ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා ද සුදුසුකම් ලැබීමට අවස්ථාවක් උදා වනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙදින පුහුණු තරගය පැවැත්වෙන්නේ මාර්තු 4 හා 5 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී යි.

තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 9 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිත අතර, මාර්තු 17 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ වෙලින්ටන් හී දී යි.

big 3
Comments (0)
Add Comment