ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැති තරගයේදී පාකිස්තාන ක්‍රීඩකයින්ට ඉන්දීය ක්‍රීඩකයින් අතට අත ලබා නොදීමට ගත් තීරණයට පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ වන විට ප්‍රතිචාර දක්වා තිබෙනවා.
පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සලයේ ද සභාපති වන Mohsin Naqvi X පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අයි.සී.සීයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගත් බවයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි තරග තීරක ලෙස කටයුතු කළ Andy Pycroft ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් කරන ලෙසට පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අයි.සී.සීයෙන් ඉල්ලා තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය උරගා බැලූ අවස්ථාවේදී නායකයින් දෙදෙනාට අතට අත ලබා දීමක් සිදු නොකරන ලෙසට තරග තීරකවරයා පවසා තිබූ බවයි පාකිස්තානය පෙන්වා දෙන්නේ.
“ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට අදාළව ICC චර්යාධර්ම සංග්‍රහය සහ MCC නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් PCB ආයතනය ICC වෙත පැමිණිල්ලක් ගොණු කර ඇත.” යනුවෙන් Mohsin Naqvi X පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා.
“ආසියානු කුසලාන තරඟාවලියෙන් තරඟ තීරකවරයා වහාම ඉවත් කරන ලෙස PCB ඉල්ලා සිටියා.”
එලෙස තරග තීරකවරයා තරගාවලියෙන් ඉවත් නොකරන්නේනම් පාකිස්තානය මෙවර ආසියානු කුසලානයෙන් ඉවත් වන බවට ද අනතුරු ඇගවීමක් සිදු කර ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පලව ඇතත්, ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ එවැනි ස්ථාවරයකට තවමත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය එළඹ නොමැති බවයි.
තරගයෙන් පසුව පාකිස්තාන ක්‍රීඩකයින්ට අතට අත ලබා නොදීමට ඉන්දීය ක්‍රීඩකයින් පියවර ගත් අතර, අනතුරුව ඊට ප්‍රතිචාර ලෙස පාකිස්තාන නායක සල්මන් අලී ආගා තරගයෙන් පසුව පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට පැමිණීම වර්ජනය කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් මාධ්‍ය හමුවේ පල කළේ මෙවන් අදහසක්.
“අපි මෙහෙට ආවේ ක්‍රීඩා කරන්න විතරයි කියලා අපි තීරණයක් ගත්තා. අපි නිසි පිළිතුරක් දුන්නා. අපි BCCI සහ රජය සමඟ එක පෙළට සිටිනවා. මම හිතන්නේ ජීවිතයේ සමහර දේවල් ක්‍රීඩාශීලිත්වයට වඩා ඉහළයි. මම මේක ප්‍රසන්ටේෂන් එකේදීත් කිව්වා. අපි පහලගම් ත්‍රස්ත ප්‍රහාරයේ සියලුම වින්දිතයින් සමඟ සිටිනවා.
“අපි ඔවුන්ගේ පවුල් සමඟත් සිටින අතර අපගේ සහයෝගීතාවය ප්‍රකාශ කරනවා. මා කී පරිදි, අපි මෙම ජයග්‍රහණය “ඔපරේෂන් සින්දූර්” සඳහා සහභාගී වූ අපගේ නිර්භීත සන්නද්ධ හමුදාවන්ට කැප කරනවා. ඔවුන් අප සැමට දිගින් දිගටම ප්‍රබෝධයක් ලබා දෙන නිසා, හැකි සෑම විටම අවස්ථාවක් ලැබුණු විට ඔවුන්ටත් ප්‍රබෝධයක් ලබා දීමට අපි අපේ උපරිමය කරනවා.”
පාකිස්තානය හා ඉන්දියාව සුපිරි 4 වටයට සුදුසුකම් ලැබුවහොත්, එම කණ්ඩායම් දෙක යළිත් වරත් එළඹෙණ 21 වැනිදා එකිනෙකා මුණ ගැසීමට නියමිතව තිබෙනවා.