ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩෘ ටයි මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබෙනවා.
ඒ, එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි එංගලන්තයේ මාර්ක් වුඩ් මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින්.
ඉන්දීය රුපියල් කෝටියක මිලකටයි ලක්නව් කණ්ඩායම ඇන්ඩෘ ටයි සමග ගිවිසුම් ගත වී ඇත්තේ.
දකුණු වැලිමිටෙහි හටගෙන ඇති ආබාධයක් හේතුවෙන් මාර්ක් වුඩ් මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වුණා.
මේ දිනවල එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුර දීයි ඔහු එම ආබාධයට ලක් වුණේ.
මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී මාර්ක් වුඩ් මිලදී ගැනීම සදහා ලක්නව් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 7.5ක මුදලක් වැය කළා.
මාර්ක් වුඩ් වෙනුවට බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහ්මඩ් සිය කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට ද ලක්නව් කණ්ඩායම මීට පෙර උත්සාහ දැරුවද, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඊට අවසර ලබා දී තිබුණේ නැහැ.
ඒ, බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට දකුණු අප්‍රිකා තරග සංචාරයක නිරතව සිටීම හා ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙන්.
කෙසේ වෙතත්, පසුව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ සිම්බාබ්වේ වේග පන්දු යවන ක්‍රීඩක බ්ලෙසින්ග් මුසරබානි මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී ඇති බවයි.
ඇතැම් වාර්තාවලට අනුව මුසරබානි බොහෝ විට දැල් පන්දු යවන්නෙකු ලෙස එම කණ්ඩායම හා එක් වනු ඇති.