IPL තරග වාරයක වැඩිම මුදලකට හිමිකම් කියූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනා

ලොව ප්‍රමුඛතම ක්‍රිකට් ලීග් තරගාවලියක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යනු කෝටී ගණනින් මුදල් හුවමාරු වන ලීග් තරගාවලියක් බව ඔබ කව්රුත් හොඳින් දන්නා කරුණක්.

මෑත වසර කිහිපයේ පටන් ඉන්දීය ප්‍රිමියර් ලීගය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නියෝජනය ඉතාමත් අවම වුව ද ඊට පෙර තරගාවලි රැසකට දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වැඩි පිරිසකගේ නියෝජනයක් දක්නට ලැබුණා.

13 වන වරටත් මෙවර පැවති ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය දින කිහිපයකට පෙර ඩුබායි නුවරදී නිමාවට පත්වුණේ පස්වන ශූරතාවයත් ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙත හිමි කර දෙමින්.

ඔවුන් පිට පිට දිනාගත් දෙවන ශූරතාවය මෙය වූ අතර මෙවර තරගාවලිය සදහා ක්‍රීඩා කළේ එක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු පමණයි.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම නියෝජනය කළ ඉසුරු උදානයි.

ඔහු ඉතිහාසයට එක්වුණේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ 27 වන ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා ලෙසයි.

මෙම ක්‍රීඩකයන් 27 දෙනා අතරින් තරග වාරයක් තුළ වැඩිම මුදලකට උරුමකම් කියූ ක්‍රීඩකයන් අට දෙනා පිළිබඳව ඔබගේ මතකය අලුත් කිරීමට අප තීරණය කළා.

08. කුමාර් සංගක්කාර

IPL තරගාවලි 6 ක් ක්‍රීඩා කර ඇති කුමාර් සංගක්කාර කණ්ඩායම් තුනක් නියෝජනය කිරීමට සමත්වී තිබෙනවා. තරග 71 ක් තුළදී ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1,687 ක්. 2013 වසරේ පැවතී තරගාවලියේදී IPL තරගවාරයකදී තමාට හිමි වූ ඉහළම මුදලට හිමිකම් කියූ සංගක්කාරට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමෙන් ඉන්දීය රුපියල් කෝටි 3.7 ක මුදලක් හිමි වුණා.

07. තිසර පෙරේරා

IPL තරගාවලි 7 ක් ක්‍රීඩා කර ඇති තිසර පෙරේරා නියෝජනය කර ඇති කණ්ඩායම් ගණන 6 ක්. 2013 වසරේදී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් ඉන්දිය රුපියල් කෝටි 3.5 කට ඔහුව මිලදී ගත් අතර, IPL තරග වාරයක් තුළ තිසර පෙරේරා හිමිකම් කියූ ඉහළම මුදල එයයි.

06. අජන්ත මෙන්ඩිස්

IPL තරගාවලි 4 ක් ක්‍රීඩා කර ඇති අජන්ත මෙන්ඩිස් කණ්ඩායම් 2 ක් නියෝජනය කිරීමට සමත්ව තිබුණා. 2013 වසරේ පැවති IPL තරගාවලියෙදී ඉන්දිය රුපියල් කෝටි 3.8 ක මුදලකට පූනේ වොරියස් ඉන්දියා කණ්ඩායම විසින් ඔහුව මිලදී ගෙන තිබූ අතර IPL තරගවාරයකදී අජන්ත මෙන්ඩිස් හිමිකම් කියූ ඉහළම මුදල ද එයයි.

05. සනත් ජයසූරිය

IPL තරගාවලි තුනක් නියෝජනය කළ සුපිරි පිතිකරු සනත් ජයසූරිය එම අවස්ථා තුනේදීම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා. 2009 වසරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඉන්දිය රුපියල් කෝටි 4.7 ක මුදලකටයි ඔහුව මිලදී ගත්තේ. එම මුදල IPL තරගාවලියක ඔහු හිමිකම් කියූ ඉහළම මුදලයි.

04. මුත්තයියා මුරලිදරන්

ලොව බිහි වූ විශිෂ්ඨතම දග පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ක්‍රීඩා කර ඇති IPL තරගාවලි ගණන 7ක්. එහිදී කණ්ඩායම් 3 ක් වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ඔහු තරග 66 කදී බිඳ හෙලා ඇති කඩුලු ගණන 63 ක්. 2011 වසරේදී කෝචි ටස්කර්ස් කණ්ඩායම විසින් ඔහුව ඉන්දිය රුපියල් කෝටි 5 ක මුදලකට යටත්ව මිලදීගෙන තිබුණා. IPL තරග වාරයකදී මුරලිදරන් හිමිකම් කියූ ඉහලම මුදල එයයි.

03. මහේල ජයවර්ධන

වත්මන් මුම්බායි ඉනිදියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන තරගාවලි 6 කදී ක්‍රීඩකයකු ලෙස ඉන්දීය ප්‍රිමියර් ලීගය නියෝජනය කර තිබෙනවා. එහිදී කණ්ඩායම් තුනක් වෙනුවෙන් ක්‍රීඩා කර ඇති මහේල තරග 80 කදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 1802 ක්. 2011 වසරේදී කෝචි ටස්කර්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටී 6.9 ක මුදලකට යටත්ව ඔහුව මිලදී ගෙන තිබූ අතර IPL තරගවාරයක ඔහු හිමිකම් කියූ ඉහළම මුදල එයයි.

02. ඇන්ජලෝ මැතිව්ස්

තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කර ඇති IPL තරගාවලි ගණන 7 ක්. එහීදී කණ්ඩායම් තුනක් නියෝජනය කර ඇති ඔහු තරග 49 ක් තුළ රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 724 ක්. 2015 වසරේ පැවති IPL තරගාවලියේදී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම විසින් ඔහුව ඉන්දිය රුපියල් කෝටි 7.5 ක මුදලකට මිලදී ගෙන තිබූ අතර IPL තරගවාරයක ඔහු හිමිකම් කියූ ඉහළම මුදල එයයි.

01. ලසිත් මාලිංග

IPL තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන ලසිත් මාලිංග තරග 122 ක් තුළ බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 170 ක්. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පමණක් නියෝජනය කර ඇති ලසිත් මාලිංගට ඉහළම මුදලක් හිමි වන්නේ 2014 වසරේදී යි. එහිදී ඔහුට හිමිව තිබූ මුදලක ඉන්දීය රුපියල් කෝටි 9.5 ක්.

Comments (0)
Add Comment