IPL තරගාවලියේ ඉහළම වැටුප් ලැබුවත් අසාර්ථක වූ ක්‍රීඩකයන් 8 දෙනා

මේ වන විට එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ලොව ප්‍රමුඛතම 20යි 20 ලීග් ක්‍රිකට් සැණකෙලිය වන ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අඩකට වැඩි තරග සංඛ්‍යාවක් අද (20) වන විට පවත්වා අවසන්.

ෂ්රෙයස් අයියර් නායකත්වය ලබා දෙන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට මුලසුන හිමි කර ගෙන සිටින අතර පෙර තරගාවලියන් හී දී ඉතාමත් සාර්ථක හා ප්‍රබල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට මෙවර හිමිව ඇත්තේ අවසාන ස්ථානයයි.

එය බොහෝ ක්‍රිකට් රසිකයන් පුදුමයට පත් කළ කරුණක් බවනම් නොරහසක්.

මුදල් කෝටී ප්‍රකෝටි ගණනින් හුවමාරුවන දැවැන්ත තරගාවලියක් වන අයි.පී.එල් තරගාවලියේදී බොහෝ ක්‍රීඩකයන් විශාල මුදලකට හිමිකම් කියනු ලැබුව ද තවමත් මෙවර තරගාවලියේ දී සාර්ථක දක්ෂතාවයක් දැක්වීමට නොහැකි වු ක්‍රීඩකයන් 8 දෙනෙකු පිළිබඳ තොරතුරු ඔබට ගෙන ඒමට අපි තීරණය කළා.

ප්‍රේක්ෂකයන් කිසිසේත් බලාපොරොත්තු නොවූ විශිෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම මෙම ලයිස්තුවට ඇතුළත්ව තිබීම කණගාටුවට කරුණක්.

එම ක්‍රීඩක ලැයිස්තුව මෙසේයි.

08. උමේෂ් යාදේව්

ඉන්දිය කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල වේග පන්දුයන්නෙකු වන උමේෂ් යාදේව් මෑතක සිට ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ එතරම් දක්ෂතාවයක් පෙන්වීමට සමත් වී නැහැ. මෙවර තරගාවලියේ බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් තරග දෙකක් පමණක් ක්‍රීඩා කළ ඔහුට එකදු කඩුල්ලක් හෝ බිඳ හෙලීමට මෙතෙක් අවස්ථාවක් ලැබී නැහැ. ඉන්දිය රුපියල් කෝටී 4.2 ක ඉහළ මිලක් යටතේයි මෙවර තරගාවලියට උමේෂ් යාදෙව් ක්‍රීඩා කරන්නේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 10.5 ක අගයක්.

07. ආරෝන් ෆින්ච්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිමීත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය දරන සුපිරි පිතිකරු ආරෝන් ෆින්ච් ඉන්දිය රුපියල් කෝටි 4.4 ක මුදලකට ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගැනීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කළා. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් කෝටි 11 ක්. මේ දක්වා එම කණ්ඩායම වෙනුවෙන් සියලු තරග සදහා ෆින්ච් ක්‍රීඩා කළ ද එතරම් සාර්ථක දක්ෂතාවයක් දැක්වීමට ඔහු සමත්ව නැහැ. තරග 9 කට ක්‍රීඩා කර ඇති ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 205 ක්. එක් අර්ධ ශතකයක් පමණක් එයට ඇතුලත්.

06. දිනේෂ් කාර්තික්

තරගාවලිය ආරම්භයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කල දිනේෂ් කාර්තික්ට පිත්තෙන් වඩාත් සාර්ථක දක්තාෂවයක් දැක් වීමට හැකියාවක් ලැබී නැහැ. මෙවර තරගාවලියේ තරග 9 කට ක්‍රීඩා කළ ද ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 141 ක්. එක් අර්ධ ශතකයක් පමණක් ඊට ඇතුළත් අතර 17.62 ක දුර්වල පිතිකරණ සාමාන්‍යයක් ඔහු රඳවාගෙන සිටිනවා. ඉන්දිය රුපියල් කෝටී 7.4 ක මුදලකට දිනේෂ් කාර්තික් හිමිකම් කියන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 18.5 ක්.

05. කෙදාර් ජාදාව්

මෙවර තරගාවලිය තුළ ඉතාමත් දුර්වල පිතිකරණ රටාවක් පෙන්නුම් කරන කෙදාර් ජාදාව් ඉන්දීය රුපියල් කෝටි 7.8 ක දැවැන්ත මිලකට යටත්ව රදවා තබා ගැනීමටයි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කර තිබුණේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 19.5 ක්. මෙවර තරගාවලියේ තරග 8 ක් ක්‍රීඩා කර ඇති ඔහු ලබා ගෙන ඇත්තේ ලකුණු 62 ක් පමණයි.

04. ඇන්ඩ්‍රි රසල්

අවසන් වරට පැවතී ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ හොඳම ප්‍රහාරාත්මක වේගයකට හිමිකම් කියූ පිතිකරුවා බවට පත්ව සිටි කොල්කටා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල්ට මෙවර තරගාවලියේදී මේ දක්වා සැලකිය යුතු දක්ෂතාවයක් පිතිකරණයෙන් දැක්වීමට හැකියාවක් ලැබී නැහැ. තරග 9 ක් ක්‍රීඩා කර ඇති ඔහු ලබාගෙන ඇත්තේ ලකුණු 92 ක් පමණයි. පන්දු යැවීමේදී කඩුලු 6 ක් බිඳ හෙලා ඇතී ඇන්ඩ්‍රි රසල්ට මෙවර හිමිව ඇති මුදල් ප්‍රමාණය ඉන්දිය රුපියල් කෝටී 8.5 ක්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 21.3 ක්.

03. ග්ලේන් මැක්ස්වෙල්

කලක පටන් කිංග්ස් එලෙවන් පංජාබ් කණ්ඩායම නියෝජනය කරන ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් හට මෙවර තරගාවලියේදී පිතිකරණයෙන් දක්ෂතා අතරට පිවිසීමට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ. තරග 9 ක් ක්‍රීඩා කර ඇති මැක්ස්වෙල් ලබාගෙන ඇත්තේ ලකුණු 58 ක් පමණයි. ඉන්දිය රුපියල් කෝටී 10.7 ක මුදලක් ඔහුට හිමිව ඇති අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 26.9 ක්.

02. මහේන්ද්‍ර සිං දෝනී

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ශූරතාවයන් 3 ක් දිනා ගැනීම වෙනුවෙන් නායකත්වය ලබා දුන් මහේන්ද්‍ර සිං දෝනිට තවමත් මෙවර තරගාවලිය තුල පිතිකරණයෙන් දක්ෂතා අතරට පැමිණිමට අවස්ථාවක් ලැබී නැහැ. තරග 10 ක් අවසානයේ ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 164 ක්. ඉන්දිය රුපියල් කෝටී 15 ක මුදලක් ඔහුට හිමිවන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 37.6 ක්.

01. පැට් කමින්ස්

මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වුණේ ඕස්ට්‍රේලියා වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස්. ඉන්දිය රුපියල් කෝටී 15.5 ක අති දැවැන්ත මුදලකට ඔහුව කොල්කටා පිල මිලදී ගත් අතර ඔහුගෙන් පන්දු යැවීමෙන් අපේක්ෂා කළ සේවය තවමත් කණ්ඩායමට ඉටුකිරීමට කමින්ස් සමත් වී නැහැ. තරග 9 කට සහභාගී ඔහු තවමත් බිඳ හෙලා ඇත්තේ කඩුලු 3 ක් පමණයි. නමුත් පිත්තෙන් ලකුණු 126 ක් රැස්කර ඇති ඔහු එක් අර්ධ ශතකයක් වාර්තා කිරීමටද සමත් වුණා. ඔහුට මෙවර තරගාවලියේදී හිමිව ඇති මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 38.9ක්.

Comments (0)
Add Comment