Ultimate magazine theme for WordPress.

SKYගේ සුපිරි ශතකය ඉන්දියාවට ලකුණු 65 ක දැවැන්ත ජයක් හිමි කර දෙයි

Match Report

සූර්යකුමාර් යාදව් පන්දු 51 කින් නොදැවී වාර්තා කළ ලකුණු 111 න් ශක්තිමත් වෙමින් නවසීලන්තය සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 65 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරිමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(20) සමත් වුණා.

Mount Maunganui හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 191 ක් ලබා ගනිමින්. ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාර 4 තුළ දී ලකුණු 62 ක් වාර්තා කිරීමට සූර්යකුමාර් ප්‍රමුඛ ඉන්දීය පිතිකරුවන් සමත් වීම කැපී පෙනුණා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සූර්යකුමාර් යාදව් සිය දෙවැනි ජාත්‍යන්තර 20යි 20 ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 111 ක් ලබා ගත්තේ හයේ පහර 7 කින් හා හතරේ පහර 11 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින්.

පන්දු යැවීමේ දී ටිම් සවුති ලකුණු 34 කට කඩුලු 3 ක් බිද හෙලූ අතර, ඔහු එම කඩුලු තුනම බිද හෙලුවේ ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාරයේ දී පිට පිට පන්දු තුනක් තුළදීයි. එහිදී දැවී ගියේ ඉන්දීය නායක හර්ඩික් පාන්ඩ්යා (13), දීපක් හූදා(0) හා වොෂින්ටන් සුන්දර්(0) යන පිතිකරුවන්.

Also Read : Watch : පිට පිට කඩුලු 3 ක් දවා ගනිමින් ටිම් සවුති මාලිංගගේ ලෝක වාර්තාව සම කරයි

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 18.5 තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.

නායක කේන් විලියම්සන් පන්දු 52 කින් ලකුණු 61 ක් රැස් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 4 ක් සමගින්.

පන්දු යැවීමේ දී දීපක් හූදා ලකුණු 10 කට කඩුලු 4 ක් දවා ගත්තේ පන්දුවාර 2.5 ක් යොමු කරමින්. මොහමඩ් සිරාජ් හා යුස්වේන්ද්‍ර චෙහල් කඩුලු 2 බැගින් දවා ගත්තා.

දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු 20යි 20 තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ අතර, ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.