REVIEW

ගිලෙන ක්‍රිකට් නැවේ අලුත්ම බිල්ල වට්මෝර් ද?

මේ වන විට ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී අවසන්.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අදුරුතම යුගයේ තවත් අදුරු කාල වකවානුවක් මෙලෙස සනිටුුහන් වන්නේ ඉදිරි අනාගතයට කුමක් වේදැයි දැඩි ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර තබමින්.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ගේ වගකීම භාර ගැනීමට හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු ඩේව් වට්මෝර්ට කැදවීමක් ලැබී ඇත්තේ එවැනි පසුබිමකයි.

1996 වසරේ ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයගන්නා විට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූයේ ඔහුයි.

පාකිස්තානය, බංග්ලාදේශය, සිම්බාබ්වේ යන ජාතික කණ්ඩායම් මෙන්ම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති ඩේව් වට්මෝර් මේ වන විට ඉන්දියාවේ කේරල කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනවා.

ඒ අනුව ඔහුව ඉදිරියේ දී ශ්‍රී ලංකා යොවුන්, ඒ, සහ නැගී එන කණ්ඩායම්වල පුහුණුකරු වශයෙන් (ක්‍රිකට් සංවර්ධන පුහුණුකරු ලෙස) පත් වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සදහා මේ වන විටත් සාකච්ඡා සිදු වන බව සදහන්.

කෙසේ වෙතත්, පුහුණුකරුවන් මාරු කිරීම තුළින් මෙරට බිද වැටී ඇති ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගත හැකිද යන්න බරපතල ගැටලුවක්.

සිදු කළ යුත්තේ එවැනි තාවකාලික පැලැස්තර ඇලවීම ද නැතහොත් දිගු කාලීන සැලැසුමකට අනුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යුහය වෙනස් කිරීම ද යන්න සොයා බැලිය යුතු කරුණක්.

ශ්‍රී ලංකාව සතුව දක්ෂ තරුණ ක්‍රීඩකයින් රැසක් සිටින බව සැබෑය.

දක්ෂ තරුණ ක්‍රීඩකයින් මෙන්ම ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ද ජාතික කණ්ඩායමට පැමිණි විට දක්ෂතා නොදැක්වීම අප බොහෝ කල් සිට දැක ඇති බව සිහිපත් කළ යුතුය.

එසේනම් ගැටලුව ඇත්තේ ශක්තිමත් තරගකාරී දේශීය ක්‍රිකට් ආකෘතියක් මෙරට නොමැති වීම යන්න අපගේ හැගීමයි.

මේ බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඇතුළු බොහෝ පාර්ශවයන් පෙන්වා දුන්න ද එය වෙනසකට ලක් කිරීමට ක්‍රිකට් බළධාරීන්ට වුවමනාවක් නොමැති වීම කණගාටුවට කරුණක්.

ශ්‍රී ලංකාවෙන් ලොව ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් බිහි වූයේ ද වත්මන් ක්‍රිකට් ආකෘතිය තුළින් බවට ඇතෙමෙකු පවසන්නේ නම් ඊට ලබා දිය යුතු පිළිතුර වන්නේ කාලයත් සමග සියල්ල වෙනස්වන බවය.

එංගලන්තය පවා මේ වන විට පන්දු සියයේ නව ලීග් තරගාවලියකට සූදානම් වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවත් සමග සියල්ල වෙනස් විය යුතු බැවිනි.

චරිත් අසලංක, භානුක රාජපක්ෂ, කිත්රුවන් විතානගේ, වැනි ක්‍රීඩකයින් පවා යොවුන් කණ්ඩායම නියෝජනය කරන විට ඉතා ඉහළ දක්ෂතා දැක් වූ බව අප දන්නා කරුණක්.

කෙසේ වෙතත්, ඔවුන් අත්දැකීම් වැඩිවත්ම අසාර්ථක වී ඇත්තේ ඇයි?

පිළිතුර නම් නිසි තරගකාරී ක්‍රිකට් ව්‍යුහයක් තුළ ඔවුන්ට අත්දැකීම් නොලැබෙන බව යන්නයි.

පරාජ රැල්ලකින් හෙම්බත් වී සිටි ශ්‍රී ලංකාව නව මගකට ගෙන ඒම සදහා චන්දික හතුරුසිංහ මහතාට මසකට රුපියල් මිලියන ගණනක වැටුපක් ගෙවා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළ ද ලැබුණු ප්‍රතිපලයක් නැත.

ඒ තුළින් ක්‍රිකට් බළධාරීන් අතපිහිදා ගත්තේ ලොව හොදම පුහුණුකරුවෙකු ද කණ්ඩායමට ලබා දීමට තමන් කටයුතු කළ බව හුවා දක්වමින්.

නමුත් ගිලෙමින් පැවැති ක්‍රිකට් නෞකාව තවත් ගිලුනා මිස කිසිදු සහනයක් මෙරට ප්‍රේක්ෂකයින්ටවත් නොලැබිණි.

දැන් යළිත් ක්‍රිකට් බළධාරීන් උත්සාහ කරන්නේ තවත් හොද පුහුණුකරුවෙකුට ඉතිරි හරිය භාර දී තම දුර්වලතා වසා ගැනීමටය.

පසුගිය වසර 4 තුළ සිදු කළ යුතු සෑම වෙනසක්ම පාහේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු කළ නමුත් ප්‍රතිපලයක් අත් වූයේ නැහැ.

එසේනම් සිදු කළ යුත්තේ යළි යළිත් එම වෙනස්කම්ම සිදු කිරීම නොව සිදු නොකළ වෙනස්කම් දෙස අවධානය යොමු කිරීමයි.

ලොව ක්‍රිකට් බලකදවුරු වන ඉන්දියාවෙන් සහ එංගලන්තයෙන් පවා හිටපු නායක මහේල ජයවර්ධනට පුහුණුකාරධූර ලබා දී තිබෙනවා.

එමෙන්ම ඔහු අයි.සී.සී ක්‍රිකට් කමිටුව පවා නියෝජනය කරන අප දන්නා කරුණක්.

හිටපු නායක කුමාර් සංගක්කාරට මාර්ලිබෝර්න් ක්‍රිකට් සමාජයේ සභාපතිත්වය (ලොව පළමු බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන සභාපති) ලැබෙන පසුබිමක, ඔවුන්ගේ සේවය ලබා ගැනීමට මෙරට ක්‍රිකට් බළධාරීන්ට නොහැකි වීම සැබවින්ම පරිපාලනයේ අසාර්ථකත්වය පිළිඹුම කරන්නක්.

සිදු කළ යුතු සියලු වැරදි සිදු කර අනතුරුව ලෝක කුසලානය වෙනුවෙන් පමණක් කණ්ඩායම වෙනුවෙන් උපදෙස් ලබා දීමට මහේල ජයවර්ධනට ආරාධනා කිරීමට පවා වත්මන් පරිපාලනය කටයුතු කළේ ගිලෙන නැවට ඔහුව ද තල්ලු කර අත පිහදා ගැනීමට බව පැහැදිලියි.

දක්ෂතා දක්වා තිබියදීත් ලසිත් මාලිංග වසරකට වැඩි කාලයක් කණ්ඩායමෙන් ඉවත් කර තැබුවේ ද මෙම බළධාරීන් විසින්ම බව සියල්ලන් දනී.

ගිලෙමින් පැවැති ක්‍රිකට් නෞකාව දැන් මුහුදු පතුලටම ගිලී ඇති බව අපගේ හැගීමයි.

සිදු කළ යුත්තේ නව ශක්තිමත් ක්‍රිකට් නෞකාවක් නිර්මාණය කිරීමයි.

එසේ නොමැතිව ඒ නෞකාවටම ඩේව් වට්මෝර්ද තල්ලු කර දැමීමෙන් පලක් ඇති නොවනු ඇති.

සිදුවූ වැරදි අවබෝධ කර ගනිමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් සිදු නොකළ වෙනස්කම් සිදු කිරීම දැන් හෝ සිදු කිරීමට පියවර ගත යුතු නොවේද?


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top