අපි ගහන ක‍්‍රිකට් ?

0 21

දිගින් දිගටම ලැබූ පරාජ හමුවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් හෙම්බත් වී සිටි පේ‍්‍රක්ෂකයින්ට පසුගියදා යම් සහනයක් ලබා දීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සමත් වූ බව සැබෑය.

ඒ තුළින් හිටි හැටියේ ලෝක කුසලානයක පහස විද ගැනීමේ ක්ෂණික ආශාවක් මෙරට පේ‍්‍රක්ෂකයින්ට ඇතිවුණා.

නමුත් එය සතියක් ඉක්මවන්නටත් පෙර යළි පේ‍්‍රක්ෂකයින්ගෙන් උදුරා ගැනීමට ඔවුන්ගේම ක‍්‍රිකට් විරුවන් කටයුතු කළේ සිය සුපුරුදු වගකීම් විරහිත, සෘණාත්මක පිතිහරඹ රටාව ප‍්‍රදර්ශනය කරමින්.

ප‍්‍රතිවාදීන්ට හොද තරගයක් ලබාදෙනවා තියා අඛණ්ඩව සුුළු වේලාවක් ප‍්‍රතිවාදීන්ට පීඩනයක් ලබා දීමටවත් මෙම පිතිකරුවන්ට නොහැකි වූයේ ඔවුන්ගේ බැරිකම නිසා යැයි කිව නොහැකියි.

ඔවුන් තරග පරාජය වන්නේ තරගකාරී ක‍්‍රීඩා විලාශයක් පෙන්නුම් කර නම් මෙරට බුද්ධිමත් පේ‍්‍රක්ෂකයින්ට එය ගැටලූවක් නොවනු ඇති.

නමුත් අද පේ‍්‍රක්ෂකයින් අසන පැනය නම් මොවුන් පිටිය මැද්දේ කරන්නේ කුමක්ද යන්නයි.

පිටියට පිවිසීමට පෙර ඔවුන් සිදු කරන්නේ කුමක්ද යන්නයි.

ඔවුන්ට උපදෙස් ලබා දෙන්නේ කවුරුන්ද යන්නයි.

පුහුණුකරුවන් කවුන්රුන්ද යන්නයි.

වැරදි සිදු වීම සාමාන්‍ය කරුණක්.

නමුත් එකම වරද හැමදාම සිදුවන්නේනම් පුහුණුකරුවන්ගෙන් ද පලක් නොමැත.

ලෝක කුසලාන තරගාවලිය යටතේ දකුණු අප‍්‍රිකාවට එරෙහිව ශ‍්‍රී ලංකාව ක‍්‍රීඩා කළ තරගය පරාජය වීමට බලපෑවේ පිතිකරුවන්ගේ සෘණාත්මක පිතිහරඹ රටාව බව අමුතුවෙන් කිව යුතු නොවේ.

පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දැවී ගිය මොහොතක යොවුන් ක‍්‍රීඩක අවිශ්ක ප‍්‍රනාන්දු සහ කුසල් ජනිත් යළි ප‍්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල වන අයුරින් පිතිහරඹයේ නිරත වූයේ ඉතාමත් ධනාත්මක අයුරින් බව පැහැදිලියි.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව සුපුරුදු පරිදි මැද පෙල කඩා වැටීම, වගකීම් විරහිත පිතිහරඹය මෙන්ම සෘණාත්මක පිතිහරඹ රටාව ලොවමට ප‍්‍රදර්ශනය කිරීමට ශ‍්‍රී ලංකා පිතිකරුවන් කටයුතු කළා.

දෙවන කඩුල්ල දැවී යන විට ප‍්‍රතිවාදී කණ්ඩායම සතුව තිබූ පීඩනය කෙමෙන් කෙමෙන් තම කණ්ඩායම දෙසට නතු කර ගැනීමට ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි අවශ්‍යතාවයක් පැවතියා සේ ඔවුන් පන්දුවට පහරදුන් අයුරු ඇත්තෙන්ම නීරසය.

කඩුලූ 3ක් දැවී ගිය අවස්ථාවේ දී තවත් කඩුලූ ලබා දිය නොහැකි බව සැබෑය.

නමුත් එය පදනම් කර ගනිමින් ටෙස්ට් තරගයක් මෙන් පන්දුවට පහර දීම කිසිසේත් පලක් නොවේ.

ඉන්දීය ක‍්‍රීඩකයින් සෑම විටම උත්සාම දරන්නේ සෑම පන්දුවකටම එක් ලකුණක් හෝ ලබා ගැනීමටයි.

ඒ තුළින් ලකුණු පුවරුව නොදැනුවත්වම කැරකෙන බව සියල්ලන් දනී.

කෙසේ වෙතත් එය සිදු කරනවා වෙනුවට සිය කඩුලූ ආරක්ෂා කර ගැනීමේ ආත්මාර්තකාමී පිතිහරඹ රටාවක් ශ‍්‍රී ලංකාව තුළින් දක්නට ලැබුණා.

ඔවුන්ට අවශ්‍ය වූයේ පන්දුවාර 50 කෙසේ හෝ ක‍්‍රීඩා කර ඇඟ බේරා ගැනීම මිස ලකුණු ලබා ගැනීම නොවන බව පැහැදිලිව දිස් වූ කරුණක්.

පන්දුවාර 10 සිට 40 දක්වා වූ පන්දු 180න් නිලකුණු පන්දු 125ක් ශ‍්‍රී ලංකා පිතිකරුවන් විසින් සනිටුහන් කර තිබීම විශේෂත්වයක්.

එනම් දෙවැනි පවර් ප්ලේ අවස්ථාවට අයත් අදාළ පන්දුවාර 30න් පන්දුවාර 20කටත් අධික ප‍්‍රමාණයකට ශ‍්‍රී ලංකාව ලකුණු ලබා ගෙන නැහැ.

ඉන් හරි අඩකට හෝ එක් ලකුණ බැගින් ලබා ගත්තේ නම් ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට මීට වඩා යමක් මෙම තරගයේ දී ද සිදු කිරීමට ඉඩ තිබුණා.

ගැටලූව ඇත්තේ මෙය අද ඊයේ සිට නොව වසර කිහිපයක් තිස්සේ ශ‍්‍රී ලංකාවෙන් දක්නට ලැබීමයි.

ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට තමා ගැන හෝ තම සහයක පිතිකරුවන් පිළිබද හෝ කිසිදු විශ්වාසයක් නොමැති බව පැහැදිලියි.

තමා කොයි මොහොතේ දැවී යයිදැයි සිතමින් පිතිකරුවන් පසුවන්නේ බියෙන් බව දක්නට ලැබෙනවා.

පිතිකරුවන්ගේ මනස සකස් වී ඇත්තේ දැඩි සෘණාත්මක තත්ත්වයකින්.

ලකුණු ලැබෙනවා මිසක් ලකුණු ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය නැත.

එසේනම් පළමුව සකස් කළ යුතු වන්නේ පිතිකරුවන්ගේ දක්ෂතා නොව ඔවුන්ගේ මනසයි.

ධණාත්මක පිතිකරණයකට, ආක‍්‍රමණකාරී පිතිහරඹයකට ඔවුන් පුරුදු කිරීම ඉදිරියේ දී සිදු කළ යුතුයි.

2015 වසරේ ලෝක කුසලානයේ දී අසාර්ථක වීමෙන් පසුව එංගලන්තය සිදු කළේ ද එයමය.

කඩුලූ නොදී පන්දුවාර 50 ක‍්‍රීඩා කිරීම පමණක් කිසිසේත් පලක් නොවන අතර, කඩුලූ නොදී ධණාත්මක පිතිකරණයක නිරත වීමට ශ‍්‍රී ලංකා පිතිකරුවන් පුරුදු විය යුතු කාලය එළඹ අවසානය.

උත්සාහ කළ යුත්තේ සෑම පන්දුවකට ලකුණක් ලබා ගැනීම සදහා පිතිකරණයේ නිරත වීමයි.

එසේ නොවුනහොත් කණ්ඩායමට එන පීඩනයෙන් මිදීමට කිසි විටෙකත් අවස්ථාව නොලැබෙනු ඇති.

එක්දින පිටියේ අසාර්ථක වෙද්දී, ශ‍්‍රී ලංකාව ටෙස්ට් තරගවලින් දැඩි පසුබැසීමක් නොදැක්වූයේ එම තරගවලදී පිතිකරුවන්ට අවශය තරම් කාලයක් ලබා ගත හැකි නිසාය.

ප‍්‍රතිවාදීන් නිලකුණු පන්දුවාර දුසිමක් යැව්වත් ඒ තුළින් ටෙස්ට් තරගයකදී පීඩනයක් එල්ල කිරීම අවස්ථාව ඉතා අල්පය.

නමුත් සීමිත පන්දුවාරවලදී එක් නිලකුණු පන්දුවක් වුවත් පරාජයට බලපෑ හැකිය.

කණ්ඩායමට පැමිණෙන තරුණ ක‍්‍රීඩකයින් පවා මුල් අවස්ථාවේ දී ඉහළ දක්ෂතා දක්වන නමුත් ටික කලකින් ඔවුන් ද වත්මන් සුපුරුදු දුර්වල පිතිකරණයට යොමු වන්නේ ඇයි දැයි ගැටලූවක්.

ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ක‍්‍රීඩා කළ දක්ෂ ක‍්‍රීඩකයින් රැුසක් අත්දැකීම් වැඩිවෙත්ම දුර්වල වන්නේ ඇයි

අපට ඇත්තෙන්ම ක‍්‍රිකට් බැරිද අපි ක‍්‍රිකට් දන්නේ නැද්ද

මේ සම්බන්ධයෙන් අප ඉදිරියේ දී තවදුරටත් කතාකරමු.

You might also like

Leave A Reply

Your email address will not be published.