පාකිස්තානයට වාර්තාගත පරාජයක් – තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

Match Report

0 821

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියාව අද (2) සමත් වුණා.

ඒ, ඇඩිලේඩ් හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති දෙවන තරගයෙන් ඔස්ට්‍රේලියා ඉනිමක හා ලකුණු 48ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ සිව්වන දිනය වූ අද දිනය ආරම්භ කරන විට අඛණ්ඩව සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 3ක් දැවී ලකුණු 39ක් ලබා සිටියා.

කෙසේ වෙතත් ඔවුන්ට සිය දෙවන ඉනිමේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 239ක් පමණයි.

ශාන් මසූඩ් ලකුණු 68ක් සහ අසාඩ් ශෆික් ලකුණු 57ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නෙදන් ලියෝන් කඩුලු 5ක් සහ ජොෂ් හෙසල්වුඩ් කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 589ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමටයි තිරණය කළේ.

එහිදී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ත්‍රිත්ව ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 335ක් සහ මර්නස් ලබුෂේන් ලකුණු 162ක් රැස් කිරීමට සමත් වුණා.

ඔවුන් දෙදෙනා අතර දෙවන කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 361ක්.

පන්දු යැවීමේ දී ශහීන් අෆ්රිඩි කඩුලු 3ක් බිද හෙලුවා.

අනතුරුව බාබර් අසාම්ගේ සහ යසීර් ෂාහ්ගේ සුපිරි පිතිකරණය හේතුවෙන් පාකිස්තානය, සිය පළමු ඉනිමේ දී ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත් වුණා.

පාකිස්තානය සිය පසුපෙල පිතිකරුවන්ගේ ද දායකත්වයෙන් තම පළමු ඉනිම ලකුණු 302ක් දක්වා රැගෙන ගිය අතර, එහිදී බාබර් අසාම් ලකුණු 97ක් සහ අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි පා දග පන්දු යවන ක්‍රීඩක යසීර් ෂාහ් ලකුණු 113ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 6ක් සහ පැට් කමින්ස් කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ඩේවිඩ් වෝනර්.

මෙය පාකිස්තාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ දී අඛණ්ඩව ලැබූ 14 වන ටෙස්ට් තරග පරාජයයි.

යම් කණ්ඩායමක් එක් රටකදී අඛණ්ඩව වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක් පරාජයට පත් වීමේ වාර්තාව ද මෙම තරග පරාජයත් සමග පාකිස්තානයට හිමි වුණා.

You might also like

Leave A Reply

Your email address will not be published.