NEWS

“ස්මිත් නැත්නම් අපි සමාන කණ්ඩායම් දෙකක්” – රූට්

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් නොමැතිව සලකා බලන විට එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සමාන දක්ෂතාවලින් යුත් කණ්ඩායම් දෙකක් බව එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් පවසනවා.

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් පරාජයට පත් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ස්ටීව් ස්මිත් මේ වන විට ලකුණු අතර ඉන්න නිසා ඔහුට එරෙහිව පන්දු යවන එක හරි අමාරුයි. ඒ නිසා ඔහුට එරෙහිව ලැබෙන සියලු අවස්ථාවන් ප්‍රයෝජනයට ගන්න ඕනෙ. නමුත් අපි ඒක හරියට කරේ නැහැ. ඒක අපේ පරාජයටත් ගොඩක් බලපෑවා ” යනුවෙන් ජෝ රූට් සදහන් කළා.

ස්ටීව් ස්මිත් සිව්වන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ අතර, ඔහු දවා ගැනීමට තිබූ අවස්ථා 3ක් එංගලන්තය අතින් ගිලිහී ගියා.

ස්මිත් ලකුණු 65ක් ලබා සිටියදී ජොෆ්ර ආචර්ට ලබා දුන් උඩ පන්දුවක් ඔහු අතින් ගිලිහී ගිය අතර, ලකුණු 82ක් ලබා සිටියදී දුවද්දී දවා ගැනීමට තිබූ අවස්ථාවක් ද එංගලන්ත පන්දු රකින්නන්ට සාර්ථක කර ගැනීමට හැකි වූයේ නැහැ.

එමෙන්ම ස්ටීව් ස්මිත් ලකුණු 118ක් රැස් කර ගෙන සිටියදී ජැක් ලීච්ගේ පන්දුවකට දැවී ගිය නමුත්, පසුව එය නිපන්දුවක් බව අණාවරණය වීම නිසා ස්මිත්ට යළි පිතිකරණයේ නිරත වීමේ අවස්ථාව උදා වුණා.

මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ස්මිත් ඉනිම් 5 කදී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 671ක්.(සාමාන්‍ය 134)

එහි දෙවන ස්ථානයේ පසුවන එංගලන්තයේ බෙන් ස්ටොක්ස් ඉනිම් 8කදී රැස් කර ගෙන ඇත්තේ ලකුණු 354ක් පමණයි.(සාමාන්‍ය 59)

“කණ්ඩායම් දෙකේම අත්දැකීම් බහුල පිතිකරුවන් ඉන්නවා. නමුත් ඔවුන් සුපුරුදු දක්ෂතා අතර නැහැ. ස්ටීව් ස්මිත් නැහැ කියල සලකා බැලුවොත් කණ්ඩායම් දෙකම සමානයි” යනුවෙන් එංගලන්ත නායක ජෝ රූට් කියා සිටියා.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top