වීසා නැතිව කල් දැමුණු කොදෙව් සංචාරය අවලංගු වන ලකුණු

0 186

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අවලංගු කිරීමට සිදු වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට නියමිත පරිදි දිවයිනෙන් පිටත්ව යාමට නොහැකි වීම හේතුවෙන්.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් අද දිනයේ දී කොදෙව් දේශය බලා පිටත්ව යාමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේ නොවැලැක්විය හැකි හේතුවක් මත අදාළ තරග සංචාරය සදහා අද දින යොවුන් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව නොයන බවයි.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් අමෙරිකාව හරහා ඇන්ටිගුවා දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබුණා.

නමුත් ක්‍රීඩකයින් 7 දෙනෙකු සදහා අමෙරිකාවෙන් වීසා නොලැබීම හේතුවෙන් අද දිනයේ දී නියමිත පරිදි තරග සංචාරය ආරම්භ කිරීමට නොහැකි වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරියෙකු අප කළ විමසීමකදී සදහන් කළේ.

ඒ හේතුවෙන් තරග සංචාරය කල් දැමීමට තීරණය කළ ද මේ වන විට තරග සංචාරය අවලංගු කිරීමේ අවධානමක් පවතින බව ද හෙතෙම කියා සිටියා.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙම සංචාරයේ දී සත්කාරක කොදෙව් යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම සමගින් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකට එක්වීමටයි නියමිතව තිබුණේ.

ඒ අනුව නියමිත කාලයට කොදෙව් දේශයට ළගා වීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය අවලංගු කිරීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

 

You might also like

Leave A Reply

Your email address will not be published.