NEWS

විරාට් කෝලිගෙන් තවත් වාර්තා රැසක්

ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි ඊයේ තවත් වාර්තා රැසක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින ක‍්‍රිකට් තරගයේ දීයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලූ 7ක් දැවී ලකුණු 279ක් ලබා ගත් අතර, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කෝලි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 120ක්.

එය ඔහුගේ 42 වන එක්දින ජාත්‍යන්තර ශතකයයි.

එමෙන්ම කොදෙව්වන්ට එරෙහිව වාර්තා කළ 8 වන ශතකය ද එය වීම විශේෂත්වයක්.

ඒ අනුව එක් රටකට එරෙහිව වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවන් අතර කෝලිට හිමිවන්නේ දෙවැනි ස්ථානයයි.

එහි පෙරමුණේ පසුවන්නේ ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ශතක 9ක් ලබා ගෙන ඇති ඉන්දියාවේම සචින් ටෙන්ඩුල්කාර්.

මීට අමතරව විරාට් කෝලි ඔස්ටේ‍්‍රලියාවට සහ ශ‍්‍රී ලංකාවට එරෙහිව ද ශතක 8 බැගින් ලබා ගෙන තිබෙනවා.

මේ අතර, ඉන්දියාව වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද විරාට් කෝලි ඊයේ තරගයේ දී සමත් වුණේ මෙතෙක් එම ස්ථානයේ රැදී සිටි හිටපු නායක සෞරව් ගංගුලි පසු කර යමින්.

ගංගුලි ලකුණු 11,363ක්(ඉනිම් 300කදී) ලබා ගෙන තිබූ අතර, කෝලි මේ වන විට ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 11, 406ක්(ඉනිම් 229).

මේ අතර, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් ලැබූ පිතිකරු ලෙස ද විරාට් කෝලි ඊයේ ඉතිහාසයට එක්වුණා.

ඔහු කොදෙව්වන්ට එරෙහිව මේ වන විට ඉනිම් 34කදී ලකුණු 2032 ක් ලබා ඇති අතර, එහි ඉනිමක සාමාන්‍ය දැක්වෙන්නේ 72ක් ලෙසයි.

එය ද එක් කණ්ඩායමකට එරෙහිව එක්දින තරගවලදී පිතිකරුවෙකු වාර්තා කර ඇති ඉහළම ලකුණු සාමාන්‍ය වීම විශේෂත්වයක්.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top