NEW ZEALAND TOUR OF SRI LANKA

“ලකුණු 10ක් මදි වුණා, ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලනවා” – දික්වැල්ල

නවසීලන්තය සමග පැවැති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග දෙකම පරාජයට පත් වීම සම්බන්ධයෙන් තමා ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු නිරෝෂන් දික්වැල්ල පවසනවා.

නවසීලන්තය සමග පැවැති දෙවන පන්දුවාර 20යි 20 තරගයෙන් කඩුලු 4ක පරාජයක් ලැබීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.

ප්‍රේක්ෂකයින්ගෙන් තරග දෙකේදීම ලද සහයෝගය සතුටුදායක බවත්, මිලියන 22ක ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් මෙතෙක් රැක ගෙන තිබූ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ඉදිරියට රැගෙන යාම වත්මන් කණ්ඩායමේ වගකීම බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිමේ දී තවත් ලකුණු 10ක් පමණ ලබා ගත්තේ නම් තරගයේ ප්‍රතිපලය වෙනස් වන්නට තිබූ බව ඔහුගේ අදහසයි.

පන්දු රැකීමේ දී ඉතා වැදගත් අවස්ථාවන් හී දී යම් යම් අවස්ථාවන් නිසි අයුරින් ප්‍රයෝජනයට නොගැනීම ද තරග පරාජයට හේතු වූ බවයි  දික්වැල්ල සදහන් කළේ.

පන්දු යැවීමේ දී ද පළමු පන්දුවාර 6 තුළ දී ලකුණු වැඩියෙන් ලබා දීම පරාජයට හේතු වූ බවත්, තරග දෙකම අවසන් පන්දුවාරයේ දී පරාජය වීම තුළින් කණ්ඩායමේ සුලු වරදක් තරග පරාජයට හේතු වන බව පිළිඹිබු වන බවත් දික්වැල්ල පෙන්වා දෙනවා.

මේ අතර, තරගයේ අවසන් පන්දුවාරයේ දී කුසල් මෙන්ඩිස් සහ ශෙහාන් ජයසූරිය එකිනෙකා ගැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

“මම හිතන්නේ නෑ ආබාධය දරුණු තත්ත්වයක ඇති කියල. ආබාධයක් වුණ ගමන්ම කියන්න බෑ මොකද වෙලා තියෙන්නෙ කියල. පරීක්ෂණ කරල හෙට දිනයේ දී දැන ගන්න ලැබෙයි කොහොමද කියල”

මාධ්‍ය හමුවේ දර්ශන පහතින් –


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top