NEWS

බුකියේ විචාරකයින් කියවිය යුතුම මෙන්ඩිස්ගේ ප‍්‍රගති වාර්තාව මෙන්න

ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නිරතුරුවම කතා බහට ලක්වනවා.

විශේෂයෙන් එක් ඉනිමක් අසාර්ථක වූ පමණින් ඔහුට එරෙහිව දැඩි විරෝධයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාම සුලබව දකින්නට ලැබෙන කරුණක්.

ඕනෑම පිතිකරුවෙකුට යම් කාලයකදී සිදු වන ආකාරයෙන් කුසල් මෙන්ඩිස් ද යම් කාල පරාසයක් ජාත්‍යන්තර පිටියේ අසාර්ථක වීම ඊට හේතුව බව සදහන් කළ යුතුයි.

එක්දින පිටියේ අසාර්ථක වුව ද 2018 වසරේ ටෙස්ට් පිටියේ දී ලකුණු දහසේ සීමාව පසු කළ ලොව පිතිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වූයේ කුසල් මෙන්ඩිස් බව ද අමතක නොකළ යුතු කරුණක්.

ඔහු දෙවැනි වූයේ ඉන්දීය නායක විරාට් කෝලිට පමණයි.

cricinfo

පසුගිය වසරේ එක්දින පිටියේ ඔහු අසාර්ථක වුව ද, මෙම වසරේ දී ඔහු මේ දක්වා එක්දින පිටියේ දී සැලකිය යුතු දක්ෂතා දක්වා තිබෙනවා.

කුසල් මෙන්ඩිස්ගේ ඉනිමක සාමාන්‍ය මෙම වසරේ දී සටහන් වන්නේ 33ක් ලෙසයි.

නමුත් පසුගිය වසරේ දී ඔහුගේ ඉනිමක සාමාන්‍ය 16ක් දක්වා පහත වැටී තිබුණා.

2017 වසරේ ජූලි, අගෝස්තු සහ ඔක්තෝම්බර් මාසවලදී කුසල් මෙන්ඩිස් අසාර්ථක වීමත් සමග කණ්ඩායමෙන් ඉවත් වීමට පවා ඔහුට සිදු වුණා.

2018 වසරේ දී ඔහුව යළි කණ්ඩායමට කැදවුවද දක්ෂතා අඛණ්ඩව දැක් වීමට ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඒත් සමගම සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුව දැඩි විවේචනයකට ලක් කිරීම ආරම්භ වුණා.

නමුත් පසුගිය වසරේ එංගලන්ත තරගාවලියේ අවසන් තරගයේ සිට ලෝක කුසලානය දක්වාම ඔහු සුපුරුදු දක්ෂතා අතර සිටි බව සදහන් කළ යුතුයි.

ඔහු මෙම වසරේ දී මෙතෙක් ක්‍රීඩා කළ එක්දින ඉනිම් 19න් තරමක් අසාර්ථක වී ඇති ඉනිම් සංඛ්‍යාව (ලකුණු 20ට අඩු) 6ක් ලෙස සටහන් කළ හැකියි.

ලකුණු 20ත් 30ත් අතර ලකුණු සංඛ්‍යාවක් ඔහු විසින් අවස්ථා තුනකදී රැස් කර ඇති අතර, ලකුණූ 30ට වැඩියෙන් ලබා ගත් ඉනිම් සංඛ්‍යාව 10ක්.

එනම්, ඔහු මෙම වසරේ ක්‍රීඩා කළ ඉනිම් සංඛ්‍යාවෙන් හරි අඩකට වැඩි සංඛ්‍යාවක් සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බව සදහන් කළ යුතුයි.

කුසල් මෙන්ඩිස්ගේ දත්ත පරීක්ෂා කිරීමේ දී පෙනී යන කරුණක් නම් 2016 වසරේ දී එනම් ඔහු ජගත් ක්‍රිකට් පිටියට පිවිසි වසරේ දී එක්දින ඉනිමක සාමාන්‍ය 38ක් ලෙස සටහන් කර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, 2017 වසරේ දී සාමාන්‍ය 28ක් ලෙසත්, පෙර සදහන් කළ පරිදි 2018 වසරේ දී සාමාන්‍ය 16ක් ලෙසත් පහත වැටී තිබෙනවා.

ගැටලුව ඇත්තේ ඔහු යළි සාර්ථක වෙමින් පවතින මෙම වසරේ දී ද පෙර පරිදිම විටින් විට ප්‍රේක්ෂකයින්ගේ විවේචනයට ලක් වීමට කුසල් මෙන්ඩිස්ට සිදුව තිබීමයි.

ශ්‍රී ලංකාව මෙම වසරේ සහභාගී වූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණේ දකුණූ අප්‍රිකාවට එරෙහිවයි.

එම තරගාවලිය ශ්‍රී ලංකාව පරාජයට පත් වුවද, තරග 5කින් යුත් තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ කුසල් මෙන්ඩිස්.

ඔහු එහිදී පිළිවෙළින් ලකුණු 60, 24, 41, 21 සහ 56ක් රැස් කළා.

අනතුරුව ලෝක කුසලානයට පෙර පැවැති ස්කොට්ලන්ත තරගයේ දී ද මෙන්ඩිස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 66ක්.

ඒ අනුව කුසල් මෙන්ඩිස් ලෝක කුසලානයට එක්වන්නේ අවසන් ඉනිම් හයේ දී ඉනිමක සාමාන්‍ය 45ක් ලෙස සටහන් කර ගනිමින්.

කෙසේ වෙතත්, ලෝක කුසලානයේ පළමු තරග දෙකේ දී ඔහු යළි අසාර්ථක වීමත් සමග නැවත වරක් ඔහුට එරෙහි සුපුරුදු විවේචනය සමාජ මාධ්‍ය ඔස්සේ මතු වුණා.

සෙසු තරග හතරේ දී යළි ලකුණූ අතරට පිවිසි ඔහු ශ්‍රී ලංකාව මූලික වටයේ සහභාගී වූ අවසන් තරගයේ දී ලකුණු තුනකට දැවී ගියා.

ඉනිම් තුනක් අසාර්ථක වීම හේතුවෙන් ලෝක කුසලානයේ දී ඔහුගේ ඉනිමක සාමාන්‍ය 20ක් දක්වා පහත වැටී තිබූ බව සදහන් කළ යුතුයි.

ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන 2003 වසරේ දී ක්‍රීඩා කළ අයුරු මෙහිදී සිහිපත් කිරීම වැදගත්.

ඔහුගේ සාමාන්‍ය එම ලෝක කුසලානයේ දී දැක් වුණේ 3ක් ලෙසයි.

කෙසේ වෙතත්, 2007 ලෝක කුසලානයේ දී කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකාව අවසන් මහා තරගය දක්වා රැගෙන යාමට ඔහු පිත්තෙන් ද දැක් වූ දක්ෂතාවය අපට හොද හැටි මතකය.

කුසල් මෙන්ඩිස් ද සැබවින්ම දක්ෂ පිතිකරුවෙකු බව කිසිදු විවාදයකින් තොරව අපට පිළිගැනීමට සිදු වනවා.

ඔහු දක්ෂයෙකු නොවන්නේනම් නවසීලන්තයේ දී දිනක් පුරා සිය කඩුල්ල රැක ගනිමින් පන්දුවට පහර දීමට හැකිවන්නේ නැහැ.

ලෝක කුසලානයෙන් පසුව ඔහු මේ වන විට යළිත් සිය සුපුරුදු රිද්මයට පැමිණ ඇති බවක් දක්නට ලැබෙනවා.

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ දී මෙම යොවුන් මැද පෙල පිතිකරුවා පිළිවෙළින් ලකුණු 43ක්, නොදැවී ලකුණු 41ක් සහ 54ක් ලබා ගැනීමට සමත් වුණා.

අවශ්‍ය වන්නේ මෙම දක්ෂතාවය හැකිතාත් අඛණ්ඩව පවත්වා ගෙන යාමයි.

ගැටලුව ඇත්තේ ඔහු යළිත් එක් තරගයක් අසාර්ථක වූ විගස යළිත් බුකිය කැළඹීමයි.

ඒ ඔස්සේ සිදු වන්නේ කුසල් මෙන්ඩිස්ගේ මානසිකත්වය බිද වැටීම බව ප්‍රේක්ෂකයින් අමතක නොකළ යුතුයි.

2023 ලෝක කුසලානය වෙනුවෙන් දක්ෂ කණ්ඩායමක් සකස් කර ගැනීම මේ වන විට අප ඉදිරියේ ඇති අභියෝගයයි.

කණ්ඩායම තුළට ඇතුළු වීමට බොහෝ ක්‍රීඩකයින් අතර තරගයක් ඇතිව තිබෙනු ද දක්නට ලැබෙනවා.

හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට පවා එක්දින කණ්ඩායමට ඇතුළු වීමට නොහැකි වී ඇත්තේ ඔහුට පිතිකරණයේ නිරත වීමට ස්ථානයක් නොමැති බැවින් යැයි කණ්ඩායමේ නායකයා සහ තේරීම් කමිටු ප්‍රධානියා ද සදහන් කළා.

ඒ අතරතුර ක්‍රීඩකයින් අසාර්ථක වෙද්දී ඔවුන්ට එරෙහිව දැඩි මඩ ප්‍රහාර සමාජ මාධ්‍ය ඔස්සේ පල වීම ගැටලු රැසකට හේතු වී ඇත.

ඒවා පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවට ද ඇතැමුන් පෙන්වා දෙනවා.

සියලු දෙනාට අවශ්‍ය වන්නේ තරග ජය ගැනීම පමණයි.

එය ප්‍රේක්ෂකයින්ටත්, ක්‍රීඩකයින්ටත්, බළධාරීන්ටත්, පුහුණුකරුවන්ටත් පොදුය.

එබැවින් ප්‍රේක්ෂකයින් සිදු කළ යුත්තේ තවත් ටික කලක් ඉවසා බලා සිටීමයි.

මේ සම්බන්ධයෙන් hitwicket.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ප්‍රවීණ ක්‍රිකට් තරග දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකර මහතා සදහන් කළේ ඉන්දීය ප්‍රේක්ෂකයින් මෙන් මෙරට ප්‍රේක්ෂකයින් කටයුතු කිරීමෙන් වැළකිය යුතු බවයි.

එසේ හැසිරෙන්නේනම් ඔවුන් තරග නොබැලීම සුදුසු බව ද හෙතෙම කියා සිටියා.

පර්සි අබේසේකර මහතා පල කළ අදහස් –


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top