NEWS

බංග්ලාදේශය පැරද වූ ඇෆ්ඝනිස්තානය වසර 140ක් පැරණි ලෝක වාර්තාවක් සම කරයි

බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 224කින් ජය ගැනීමට සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

චිතගෝන් නුවර පැවැති තරගය ජය ගැනීම සදහා සිය දෙවන ඉනිමේ දී ලකුණු 398ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට තරගයේ අවසන් දිනයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 173ක් පමණයි.

නායක ශකිබ් අල් හසාන් ලකුණු 44යි.

පන්දු යැවීමේ රෂීඩ් ඛාන් කඩුලු 6ක් බිද හෙලූ අතර, ඔහු පළමු ඉනිමේ දී ද කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 342ක් ලබා ගත්තා.

අනතුරුව බංග්ලාදේශය ලකුණු 205කට සීමා වූ අතර, ඇෆ්ඝනිස්තානය සිය දෙවන ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 260ක්.

මෙම තරගයේ දී පළමු වරට ටෙස්ට් නායකත්වය දැරූ රෂීඩ් ඛාන් ඉතිහාස ගත වූයේ ටෙස්ට් තරගයක් ජය ගත් ලොව ලාබාලතම නායකයා ලෙසයි.

එමෙන්ම ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කළ තෙවැනි ටෙස්ට් තරගය ද මෙය වන අතර, ඔවුන් ඉන් තරග දෙකක්ම මේ වන විට ජය ගෙන තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ටෙස්ට් තරග දෙකක් ජය ගැනීමට අවම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ රට ලෙස ඔවුන් ඔස්ට්‍රේලියාව සමග සම තත්ත්වයට ද මෙහිදී පත් වුණා.

ඔස්ට්‍රේලියාව සිය දෙවන ටෙස්ට් ජය වාර්තා කළේ ද සිය තෙවැනි ටෙස්ට් තරගයේ දී වන අතර, එය වාර්තා වී තිබුණේ 1879 වසරේ දී වීම විශේෂත්වයක්.

මෙය ඇෆ්ඝනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගයයි.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top