“තිරසාර සාර්ථකත්වයකට දක්ෂතා ස්ථාවර විය යුතුයි” – මිකී ආතර්

0 158

කණ්ඩායම තුල තිරසාර සාර්ථකත්වයක් ගොඩනැංවීමට නම් දක්ෂතාවල ස්ථාවර භාවය ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා.

සිම්බාබ්වේ තරග සංචාරය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

නම් කරන ලද සංචිතයට කුසල් පෙරේරා ඇතුළත් නොවීම සම්බන්ධයෙන් එහි දී ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.

“මගේ අදහස ඉතාම සරළයි. කුසල් දන්නවා එයා සුදුසු වන්නේ කොයි අංශයටද කියලා. අපේ ටෙස්ට් කණ්ඩායමේ සැලසුම් අතර තවමත් කුසල් ඉන්නවා. ඒක ගැන සැකයක් නෑ. ඒ අනුව එයාට ක්‍රීඩා කරන්න සුදුසු වාතාවරණයන්වලදී ඔහු ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරාවි. නමුත් ඔහු සමඟ කතාබහ කිරීමේ දී එක දෙයක් තහවුරු වුණා. ඒ තමයි එයා දන්නවා ටෙස්ට් කණ්ඩායමේ එයාට ගැලපෙනම තැන පිළිබඳව”

කණ්ඩායමේ දක්ෂතා දිගින් දිගටම රඳවා ගැනීමට නොහැකි වීම කණ්ඩායමේ කඩා වැටීමට හේතුවක් වී තිබෙන බවද මෙහිදී මිකී ආතර් අවධාරණය කර සිටියා.

එම තත්ත්වයෙන් ගොඩ ඒමට නම් කණ්ඩායමේ දක්ෂතාවල ස්ථාවර භාවයක් ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය බවයි හෙතෙම සඳහන් කර සිටියේ.

“අපි උත්සාහ දරන්නේ ස්ථාවර කණ්ඩායමක් ගොඩ නඟන්න. මමත් දැන් මේ සිස්ටම් එකේ මාස 2 කට ආසන්න කාලයක ඉඳන් රැඳීලා ඉන්නවා. එතැනදි මම සුදු පන්දුවෙන් කරන ක්‍රීඩාව වගේම රතු පන්දුවෙන් කරන ක්‍රීඩාව සම්බන්ධව සැලසුම් සකස් කරලා තියෙනවා. මෙතැනදි වඩාත්ම වැදගත්වන දේ තමයි දක්ෂතාවල ස්ථාවර භාවය ස්ථාපිත කිරීම. අතීතය අරගෙන බැලුවොත් තරග 2 ක් ක්‍රීඩා කරනවා එළියට යනවා. ආපසු කණ්ඩායමට එනවා. අපිට එහෙම කරන්න බැහැ. අපිට කණ්ඩායම තුළ තිරසාර සාර්ථකත්වයක් අපේක්ෂා කරනවා නම් ඒ සඳහා අනුකූලතාවයක් තිබිය යුතුයි” යනුවෙන් ප්‍රධාන පුහුණුකරු කියා සිටියා.

මේ අතර තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා සඳහන් කර සිටියේ කුසල් පෙරේරා යනු හොඳ පිතිකරුවෙක් වුවත් අවසන් 11 දෙනා අතරට ඔහුව ආදේශ කිරීමේදී ඇන්ජලෝ මැතිව්ස්ට හෝ දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවන බවයි.

එහෙත් ක්‍රීඩා කිරීමට නියමිත අවසන් 11 දෙනා තෝරා ගැනීමේදී නායකයාගේ සහ පුහුණුකරුගේ වැඩි කැමැත්ත මැතිව්ස්ට සහ චන්දිමාල්ට හිමි වන බවද මෙහිදී තේරීම් කමිටු සභාපතිවරයා අවධාරණය කර සිටියා.

මේ අතර, පැතුම් නිස්සංකට ටෙස්ට් සංචිතයේ ඉඩක් තවමත් හිමි නොවීම සම්බන්ධයෙන් ද මෙහිදී අසන්ද ද මෙල් මහතා අදහස් පල කළා.

ඔහු පෙන්වා දෙන්නේ පැතුම් නිස්සංක දක්ෂ ක්‍රීඩකයෙකු වුවද, ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සදහා ඔහු තවමත් සුදුසු තත්ත්වයට පත්ව නොමැති බවයි.

ඒ සදහා තවත් යම් කාලයක් අවශ්‍ය බවයි තේරීම් කමිටු සභාපතිවරයා සදහන් කර සිටියේ.

මූලාශ්‍රය – SLC

You might also like

Leave A Reply

Your email address will not be published.