ශ්‍රී ලංකාවට පළමු වරට ඔස්ට්‍රේලියාවේ දී තරගාවලි පරාජයක්

0 15

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවන තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමත් සමගයි.

බ්‍රිස්බේන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 117ක් පමණයි.

කුසත් ජනිත් ලකුණූ 27ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 21ක් රැස් කළා.

පන්දු යැවීමේ දී බිලී ස්ටැන්ලේක්, පැට් කමින්ස්, ඇඩම් සම්පා සහ ඇෂ්ටන් අගර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව ඉනිම නිමා වීමට පන්දුවාර 7ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 60ක් සහ ස්ටීව් ස්මිත් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ලසිත් මාලිංග ලකුණු 23කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේ දී 20යි 20 තරගාවලියක් පරාජයට පත් වූ පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.

You might also like

Leave A Reply

Your email address will not be published.