“සම ශූරයින් කරන්න තිබ්බා” – හිටපු නායක අර්ජුනගෙන් අයි.සී.සීයට දොස්

0 23

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ජයග්‍රාහකයා තේරූ ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.

“ලෝක ශූරයින් තේරීම සදහා සුපිරි පන්දුවාරයක් යොදා ගැනීම කණගාටුදායකයි”

දෙවරක්ම එංගලන්තය සහ නවසීලන්තය සම ලකුණු ලබා ගැනීම හේතුවෙන් අවසන් ප්‍රතිපලය මේ ආකාරයෙන් ලබා දීම සිදු නොවිය යුත්තක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නවසීලන්ත කණ්ඩායම තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට තරම් සුදුසු තත්ත්වයේ නොමැති බව අර්ජුන රණතුංග මහතාගේ අදහසයි.

“නවසීලන්තය තරගය පරාජයට පත් වුණේ නැහැ. ඒ වගේම එංගලන්තය තරගය ජය ගත්තෙත් නැහැ. ඉතිං කොහොමද නවසීලන්තය අනුශූරයින් ලෙස හදුන්වන්නේ? ඔවුන් කිසිදු වරදක් කළේ නැහැ දෙවැනි ස්ථානයට පත් වීමට “

හෙතෙම මෙලෙස සදහන් කළේ විදෙස් ක්‍රිකට් වෙබ් අඩවියක් වෙත අදහස් දක්වමින්.

අවසන් තරගයේ ජයග්‍රාහකයා තේරීම සදහා සුපිරි පන්දුවාරයක් ලබා දීම සම්බන්ධයෙන් ද අර්ජුන රණතුංග මහතා මෙහිදී සිය අප්‍රසාදය පල කළා.

අවසානයේ හතරේ සහ හයේ පහර සංඛ්‍යාව අනුව තරගයේ ජයග්‍රාහකයා තේරීම සිදු නොකර කණ්ඩායම් දෙකම තරගාවලියේ සම ශූරයින් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කළේ නම් එය වඩාත් සුදුසු බවයි 1996 ලෝක ක්‍රිකට් ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා කියා සිටියේ.

ලෝඩ්ස් ක්‍රීඩාංනයේ පසුගියදා පැවැති අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 241ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ද ලබා ගත්තේ ලකුණූ 241ක් පමණයි.

අනතුරුව ලබා දුන් සුපිරි පන්දුවාරයේ දී ද කණ්ඩායම් දෙකම ලකුණු 15 බැගින් රැස් කළා.

ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තෝරනු ලැබුවේ වැඩිම හයේ සහ හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කණ්ඩායම තේරීමෙනුයි.

එහිදී 16ට 24ක් ලෙස නවසීලන්තය පරාජයට පත් වුණා.

You might also like

Leave A Reply

Your email address will not be published.